top of page

ලංකාවේ අනාගතය ඇත්තටම කාගේ අතේ ද?

Updated: Nov 30, 2022


අවුරුදු 2000ක ලිඛිත ඉතිහාසයක් තියෙන අපේ මවුබිම ශ්‍රී ලංකාවයි. ඒ ශ්‍රේෂඨ ඉතිහාසයත් එක්ක විකාශනය වෙමින් ගොඩනැගුණු ඉතාමත් ශක්තිමත් සංස්කෘතියක් ද අපිට තියෙනවා. ඒ සංස්කෘතිය තුල උප-සංස්කෘතින් ද මුල්බැසගෙන තියෙනවා. අපේ මවුබස තරම් තවත් ලස්සන භාෂාවක් නැති තරම්.


හැබැයි, කවුරුහරි ඔයාගෙන් ඇහුවොත්, ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ කවුද? ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔයාට එන්නේ මොනවගේ හැඟිමක්ද?


මොනවද ඔයාට හිතුනේ?

පාර්ලිමෙන්තුවේ මගෝඩිස්තුමන් ලා ගහගන්නවා මතක් වුණා ද? මගෝඩිස්තුමන්ලා ගේ වචන හරබ මතක් වුණාද? එහෙමත් නැත්තම් සීගිරිය, ශ්‍රී පාදාස්ථානය, දළඳා මාලිගාව, අනුරාධපුර, හික්කඩුව වගේ ලංකාවට ලස්සනක් ගෙන දෙන, ලංකාවේ සංස්කෘතිය ශක්තිමත් කරන නගරයක්, ස්ථානයක්, අංගයක් මතක් වුණාද?

ඔය දෙකෙන් මොකක් මතක් වුණත්, ශ්‍රී ලාංකිකයෙක් කියෙන ඒ වචනය ට එයින් පරිපූර්ණ අර්ථයක් ගෙනල්ලා දෙනවද?


අපේ රට අතිරමණීය රටක්


අපේ රට ඉතාමත් සුන්දර පරිසරයක් තියෙන රටක්. පාරිසරික වශයෙන් ගත්තහම රටක තියෙන්න ඕනා කියලා ඔබට මට හිතෙන හැම දෙයක්ම මේ රටේ තියෙනවා නේද? රත්තරං පාට වෙරළ තීරයකින් වටවෙච්ච රටක් තුල නගරයෙන් නගරයට, දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රිකයට වෙනස් වෙන පරිස්ථිතියක් ඇති, වෙරළ තීරයේ සිට කිලෝමීටර් 100ක පමණ රටතුලට වෙන්නේ පුංචි එංගලන්තයකුත් පිහිටලා තියෙන පුදුම රටක්, මේ අපේ ලංකාව. නිකමට වගේ පොඩ්ඩක් google කරලා බලන්න, මෙහෙම අරුම පුදුම රටක් තව ලෝකේ තියෙනවද කියලා.


ඒ අරුම පුදුම රටේ ආදිමුතුන් මිත්තෝ, ඒ ලස්සන පරිසරයට ගැළපෙන ලස්සන සංස්කෘතියක් බිහිකරලත් දුන්නා. ගමයි-පන්සලයි, වැවයි-දාගැබයි කියන ඒ පදනමත් එක්ක අපේ මුතුන් මිත්තෝ හරි ලස්සන රාජ්‍යක් ගොඩනැගුවා. ලාංකිකත්වය කියන ඒ හැඟිමට නව පණක් ලබාදුන්නා.





ඒත් අපේම සමහරු අද ඒ සංස්කෘතියට ගරහන්නත් පුරුදු වෙලා. ගෝලීයකරණයත් එකක් සංස්කෘතින් වෙනස් වීම නොවැළකිය හැකි දෙයක්. එසේ ගෝලීයකරණය වීම තුල සංස්කෘතියෙහි පැවතිය හැකි යම් අහිතකර තත්වයන් නැති වීමත්, හොද ප්‍රවණතාවයක්. ඒ වුණාට ගෝලීයකරණයට ලක් වුණා කියලා, තම සංස්කෘතියේ පදනමට පවා ගැරහීම සාධාරණද?


කොහොම වුණත්, කවුරු මොනා කිව්වත්, අපේ මවුබිමට වෙනත් රටවල මිනිස්සුන් පවා ආකර්ෂණය වෙන්නේ ඒ සංස්කෘතිය නිසා. මොකද එක මනුස්සයෙක් තවත් මනුස්සයෙක් එක්කත් හිනා වෙන එකේ ඉඳලා දළඳා මාලිගාවේ රන්දෝලි පෙරහැරත් ඒ ගැරහීමට ලක්වෙන සංස්කෘතියේ ම කොටසක් නිසා.


ඔව්, ශ්‍රී ලංකාව ලස්සනයි. හැබැයි ශ්‍රී ලාංකිකත්වය කියන්නේ ඒ පරිසරයේ ලස්සන විකුණගෙන කෑමද? ශ්‍රී ලාංකිකත්වය කියන්නේ අපේම සමහරු ගරහන ඒ සංස්කෘතිය විකුණගෙන කෑමද?


ශ්‍රී ලංකාව කියන්නේ ස්වයංපෝෂිත භූමියක්. එහෙම වුණා කියලා මේ රටේ මිනිස්සුන්ගේ සිත් ලස්සන වෙනවද? රට ස්වයංපෝෂිත වෙච්ච පලියට සමාජය සමෘද්ධිමත් වෙනවද?


අපේ රටේ දේශපාලනය බල්ලට ගිහිල්ලා


ඔය කියමන ගොඩක් ලාංකිකයින් පවසන දෙයක් නේද? ඒ වුණා ට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ එතනද? දේශපාලනඥයා අපේ ම සමාජ-ආර්ථික ක්‍රමය තුලින් උපදින චරිතයක් නේද? එහෙනම් අපිට දේශපාලනඥයා ට බැනලා එතනින් නවතින්න බැහැ.


“දනින් වැටී නළල ඔබා නිලතල අර ගනිල්ලා - කල දුටු කළ වල ඉහ ගෙන මඩි තර කර ගනිල්ලා...”

රටක බහුතරයක් දෙනා මෙහෙම වෙනකොට, දේශපාලකයා මගෝඩිස්තුමෙක් වීම අහඹුවක් ද? ඇත්ත දේශපාලකයින් ගොඩක් deal දානවා, කොමිස් ගහනවා, එත් එය දේශපාලනය නම් වු ක්‍රීඩාවේ එක් අන්තයක්.

ගොඩක් දෙනෙක් ගේ මතය, රටේ නායකයින් deal හා කොමිස් මත යැපෙන කොට රටේ මහජනතාව ද එයට යොමු වීම අහඹුවක් නොවන බවටයි. ඒත් සැබවින්ම ඉහත ප්‍රකාශ කළ ආකාරයට රටේ වෙසෙන ජනතාව තුලින් මෙම නායකයින් බිහිවන නිසා සමාජය නිසි ආකාරයක ට පෙළ ගැසුනහොත් තමයි සැබවින්ම වෙනසක් ඇති කරන්න පුළුවන් වෙන්නේ.




මෙන්න පොඩ්ඩක් තව හිතන්න දෙයක්


ශ්‍රී ලංකාවේ සංස්කෘතිය කියන්නේ අප්‍රේල් මාසේ කැවුම් කොකිස් කන එක විතරමද? වෙසක් එකට පොසොන් එකට කූඩු බලලා තොරණ බලලා දන්සැල් වදින එක විතරක්ම ද? රාමාසාන් උත්සව කාලේදි යාළුවොත් එක්ක වටලප්පන් බෙදා ගන්න එක විතරක්ම ද? පොඩ්ඩක් ඇත්තටම හිතන්න ඒකද ශ්‍රී ලාංකිකයෙක් වෙනවා කියන්නේ?


අපි සිනහමුසු මුහුණෙන් කල්ගෙවන ජාතියක්. මම නම් නෙමෙයි කියන්නේ, සංචාරක ප්‍රවර්ධන website වල තමයි ඕවා දකින්න පුළුවන් වෙන්නේ. අපි සුද්දොත් එක්ක හිනාවෙනවා. ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, අපි කොච්චර දුරට තවත් ශ්‍රී ලාංකිකයෙක් සමග හිනා වෙනවද? එක් ජනවර්ගයක පුද්ගලයෙක් තවත් ජනවර්ගයේ පුද්ගලයෙක් සමග හිනා වෙනවා දැකලා තියෙන්නේ TV ad වල විතරයි නේද? ගොඩක් විට ඇත්තටම තවත් ජනවර්ගයක මනුස්සයෙක් දිහා බලන්නේ සැකෙන් නේද?


මේ අරුම පුදුම දිවයින, ඔබෙත් මගෙත් මවුබිම, දැන් මාර අරුම පුදුම තැනක නේද තියෙන්නේ?


වෙනසක් ඇති කරමුද?


මෙය තවත් ඡන්ද පොරොන්දුවක් නොවේ! මොකද මේ වෙනස ඇති කරන්න ඔබත් මමත් එකට එකතු වෙන්න ඕනේ. දේශපාලන කඳවුරක් වටේ නම් නෙමෙයි, ශ්‍රී ලාංකිකත්වය වටා එකතු වෙන්න ඕනේ. මේ කියන්න යන්නේ ආණ්ඩුව පෙරලන්න කියලත් නෙමෙයි. හරි සරල දෙයක්.


මේ system එක ගැන හොද අවබෝධයක් ලබාගන්න. දේශපාලකයෝ කියන්නේ රට කළමණාකරණය කිරීමට පත්වෙන ඇත්තෝ. එයාලට කරන්න රට වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් සීමිතයි. ආර්ථිකමය වශයෙන් අපේ රට ශක්තිමත් කිරීමේ ඉතුරු game එක තියෙන්නේ ඔබෙත් මගේත් අතේ.


එහෙමයි කියලා මොනහරි දෙයක් නිකං දෙනවා කිය කිය stage වල කෑගහන, අතීතේ වෙච්ච දේවල් ගැන කිය කිය කෑගහන හැමෝටම ඡන්දේ දෙන්නත් එපා. පක්ෂ පාට බලලා ඡන්දේ දෙන්නත් එපා. අවංකව රට කළමණාකරණය කරන්න පුළුවන් කියලා හිතෙන අයෙක් ට ඡන්දේ දෙන්න. එය ඔබට භාරයි.


ඇත්තටම වැඩිහිටි පරම්පරාව වෙනස් කරන්න අමාරුයි. ඒ වුණාට අපි අලුත් පරම්පරාවක්. අපි වෙනස් වුණා කියන්නේ, ටික ටික මේ සමාජයත් වෙනස් වෙනවා කියන එක නෙමෙයිද?


එහෙනම් අලුත් පරම්පරාව විදිහට අපිට මොනවද කරන්න පුළුවන්?


ශ්‍රී ලංකාව කියන්නේ ලස්සන රටක්. මුලින්ම, අපි ලංකාවේ ඉතිහාසය ගැන ආඩම්බර වෙන්න ඕනේ, උපසංස්කෘතින් ද එකතුවෙලා හැදිලා තියෙන ශක්තිමත් සංස්කෘතිය ගැනත් අපි ආඩම්බර වෙන්න ඕනේ. ලංකාවේ රන්වන් වෙරළ තීරය, අහස සිඹින කඳු පර්වතයන් ගැන ආඩම්බර වෙන්න. අපි ගොඩක් දෙනෙක් දැනටමත් ඒ පිළිබඳව ආඩම්බර වෙනවා, ඒ වුණාට අපි බොහෝ දෙනෙක් එතනින් නවතිනවා. ඒ නවතින්නේ අර චාටර් දේශපාලනය නිසා, මේ චාටර් system එක නිසා.


ඒ වුණා ට අපි අපේ වැඩිහිටි පරම්පරාවට වඩා වෙනස්, අපිට හොදට multitask කරන්න පුළුවන්. අපි ව්‍යවසායකත්වයට විශේෂ නැඹුරක් දක්වනවා. අපි ඉඩම්-කඩම් පස්සෙන් දුවන පරම්පරාවකුත් නෙමෙයි.


ඒ නිසා අපි,

දියව් දියව් කියලා රටින් ඉල්ලං කන්න බලාගෙන ඉන්නේ නැතුව; තවත් නිශ්චිත ව කියනවා නම් රටේ බදුගෙවන ජනතාවගෙන්ම ඉල්ලං කන්න බලාගෙන ඉන්නේ නැතුව, තමන් තමන්ටම සම්මතයක් තියාගන්න. ඔබේ මේ මවුරටට, ඔබේම හැකියාවන් හා නිපුණතා අනුව අභිමානයක් ගෙනල්ලා දෙන විදිහේ යමක් පටන් ගන්නවා හෝ කරනවා කියලා. වෙනස පටන් ගන්නේ එතකොටයි.


නිතිගරුක පුරවැසියෙක් වෙන්න, පාර මාරුවෙන අවස්ථාවේ ඉඳලම ඒක පුරුදු වෙමු. එතකොට නිතිගරුක සමාජයක් හැදෙයි. අපි අපේ පරම්පරාව අල්ලස හා දූෂණයෙන් ඈත්ව තබාගමු, අන්න එතකොට අල්ලස් හා දූෂණයෙන් තොර දේශපාලකයින් අපට අපේකෂා කරන්න හරි පුළුවන් නේද?





තමන්ගේ රටේ මනුස්සයා එක්කත් හිනා වෙන්න. හදවතින් ම හිනාවෙන්න.‍ ශ්‍රී ලාංකිකයෙක් විදිහට මේ රටේ සියළු දෙනාටම, සියළු දෙයකටම ආදරය කරන්න. ජාති-ආගම්-භාෂා භේදයකින් තොරව ආදරය කරන්න.


ශ්‍රී ලාංකිකයෙක් කියන ඒ සංකල්පයට ආදරය කරන්න.


නව පරම්පරාවේ තරුණයෙක් විදිහට තාක්ෂණයෙන් සන්නද්ධ ව මේ ඔබෙත් මගෙත් මවුබිම ශක්තිමත් කරන්න පුළුවන් අලුත් විදිහේ දෙයක් කරන්න.


ඡන්ද පොරොන්දු වලින් ඉටු නොවුණු, ඔබත් මමත් අපේක්ෂා කරන ඒ ශ්‍රී ලංකාව එතකොට ගොඩනැගෙයි.

අන්න, ඒ වෙනසට මුලපුරමු


242 views0 comments

Recent Posts

See All
bottom of page